2013-05-24

මෙරට පාපාන්දුවේ තරග පාවාදීම් - ක්‍රීඩා ඇමති හෙලිකරයි


(2013 මැයි මස 24 වැනිදා) ජාතික පාපන්දු ක්‍රීඩකයින් තරග පාවාදීම්වල නිරතව සිටින බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පාපන්දු සංගමයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ රුපියල් 15,000 ක් වැනි මුදලකට පවා තරග පාවාදීම්වල පාපන්දු ක්‍රීඩකයින් නරතව ඇති බවයි. ඊට හේතුව ක්‍රීඩකයින්ට නිසි මුදලක් නොලැබීම බවත් ඔහු කියා සිටියා. එහෙත් ඉදිරියේදී පාපන්දු ක්‍රීඩකයකුගේ මාසික ආදායම රුපියල් 80,000 ක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ වන විටත් කටාර් පාපන්දු සංගමය ජාතික ක්‍රීඩකයකුට මසකට රුපියල් 50,000ක වැටුපක් ලබා දීමට එකග වී තිබෙනවා. ඊට අමතරව රුපියල් 30,000 වැටුපක් සහිත රැකියාවක්ද ජාතික පාපන්දු ක්‍රීඩකයකුට ඉදිරියේදී ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
 මේ අතර පාපන්දු සංගමය දුප්පත් සංගමයක් නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියා. මේ වන විට පාපන්දු සංගමයේ ස්ථිර තැන්පතුවල වටිනාකම රුපියල් මිලියන 100 ක් පමණ වනවා. එම මුදල් පාපන්දු ක්‍රීඩාවේ දියුණුව සදහා යොදවන ලෙසත් ජාතික සංගමය බැංකුවක් නොවිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
එම මාධ්‍ය හමුවේදී පාපන්දු සංගමයේ සභාපති සහ ක්‍රීඩා ඇමති අතර ලකුණු සදහා ගැටුමක්ද ඇතිවුණා. පළමුව පැයක කථාවක් පවත්වමින් ජාතික පාපන්දු සංගමයේ සභාපති රංජිත් රොද්‍රිගු මහතා තමන් පත්වීමෙන් ගතවූ මාස 02 ක කාලය තුල විශාල වැඩ කටයුතු රැසක් සිදුකළ බව කියා සිටියා. එහිදී ඔහු කියා සිටියේ පාපන්දු සංගමයේ සභාපතිට සහ ලේකම්ට බලතල ලබා දෙමින් පරිපාලන කමිටුව විසුරුවා හැරි බවයි. එමෙන්ම ප්‍රධාන විධායක ඉවත්කළ බවත් ඔහු කියා සිටියා. එමෙන්ම පසුගිය කාලයේ පාපන්දු අය වැය පිලිබදව පරීක්ෂණයක් ආරම්භකල බවත් රංජිත් රොද්‍රිගු මහතා කියා සිටියා.
එහෙත් පසුව කථාව පැවැත්වූ ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ එම කටයුතු සියල්ලම තමන් සිදුකළ බවයි. පාපන්දු සංගමයට ඒවා සිදුකරන ලෙස කියා සිටියත් ඔවුන් එම කටයුතු දිනෙන් දින පැහැර හැරි බවත් ඔහු පෙන්වා දුන්නා. මේ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල භාවිතා කරමින් තමන් එම කටයුතු සිදුකිරීමට මැදිහත්වූ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ. මේ අනුව රංජිත් රොද්‍රිගු මහතා පඹයෙක් බවත් රූකඩ නැටවූයේ තමන් බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

පාවාදීම් දැලේ විනිසුරුවෙකුත් පැටලේ


(2013 මැයි මස 24 වැනිදා) ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීම් පිලිබදව පරීක්ෂණ සිදුකරන මුම්බායි පොලීසිය මේ වන විට විනිසුරුවන් පිලිබදවත් අවධානය යොමුකර තිබෙනවා. මේ අනුව පකිස්ථාන විනිසුරු අසාද් රාවුෆ්ගේ හැසිරීම් රටාව අධ්‍යනය කරමින් ඇතැයි සදහන්. ඒ අත්අඩංගුවට ගත් මුදලට ඔට්ටු තබන්නන් විසින් ලබා දී ඇති තොරතුරු පදනම් කරගනිමිනුයි. මේ අනුව පාවාදීම් පිලිබදව මෙම පරීක්ෂණයට ලක්වූ පළමු විනිසුරු ඔහු වනවා. පසුගියදා ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ මුදලට තරග පාවාදීම් සිදුකළ බවට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු මුම්බායි පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අතර ඉන්දීය ටෙස්ට් ක්‍රීඩක එස්.ශ්‍රීසාන්ත් ද වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරනු ලැබුවේ පකිස්ථාන විනිසුරු අසාද් රාවුෆ්ට එල්ලවී ඇති චෝදනාව හේතුවෙන් චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ඔහුව ඉවත්කළ බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් කියා සිටියේ මුම්බායි පොලීසිය සිදුකරන පරීක්ෂණ නිමාවන තුරු රාවුෆ්ව තරග සදහා නොයෙදවීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් පකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති සකා අශ්රෆ් කියා සිටියේ අසාද් රාවුෆ් වරදක් සිදුකර ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි. මේ අතර පසුගිය වසරේදී ඉන්දීය නිලි ලීනා කපූර්ට ලිංගික අතවර කළ බවටද රාවුෆ්ට චෝදනා එල්ලවුණා. එහෙත් පසුව ඔහු එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
පසුගිය වසරේදී මුදලට තරග පාවාදීම් සදහා සම්භන්ධ බවට ප්‍රකාශ වූ නදීම් ගෞරි විනිසුරුට වසර 04 ක තරග තහනමක් පැනවුණා.



2013-05-22

වෙලගෙදර වෙනුවට දිල්හාරට පින පෑදේ


(2013 මැයි මස 22 වැනිදා) චැම්පියන්ස් කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක් වෙනසක් සිදුකර තිබෙනවා. ඒ ආබාදයකට ලක්ව සිටි චානක වෙලගෙදර වෙනුවට දිල්හාර ලොකුහෙට්ටිගේ කණ්ඩායමට එක් කිරීමයි. පසුගියදා මෙම තරගාවලිය සදහා සභාපති කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණා. එහිදී වෙලගෙදරගේ පාදයේ ආබාදයක් හටගත්තා. ඔහුගේ දකුණු වළලුකර මෙලෙස ආබාදයකට ලක්ව තිබෙනවා. එහි පවතින රිදුම තවදුරටත් පැවතීම හේතුවෙනුයි ඔහුව විවේක ගැන්වීමට තීරණය කර ඇත්තේ.
දිල්හාර ලොකුහෙට්ටිගේ අවසන් වරට එක්දින ක්‍රිකට් තරගයක් සදහා ක්‍රීඩා කර ඇත්තේ 2005 වසරේදීයි. මේ අනුව පසුගිය වසර අට තුලදීම ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සදහා සහභගී වී නැහැ. ඔහු ක්‍රීඩා කර ඇත්තේද එක්දින ක්‍රිකට් තරග 08 ක් පමණයි. එහිදී බිද දමා ඇති කඩුළු සංඛ්‍යාව 06 ක්. මේ අනුව එංගලන්තයේ පැවැත්වෙන තරගාවලියේදී නැවත කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගැනීම සදහා ඔහුට හොද අවස්ථාවක් පවතිනවා. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 06 වැනිදා ආරම්භවනවා.

ලංකාවට පයින් ගසා මුරලි කැරිබියන් යයි


(2013 මැයි මස 22 වැනිදා) කැරිබියන් ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 26 වැනිදා දක්වායි. මෙම තරගාවලිය සදහා මේ වන විටත් ප්‍රධාන පෙළේ ක්‍රීඩකයින් රැසක් ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව හොදම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ද වනවා.
ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 10 වැනිදා සිටයි. මේ අනුව තරගාවලි දෙකම එකම වකවානුවක පැවැත්වෙනවා. මෙනිසා ක්‍රීඩකයින්ට එක් තරගාවලියක් තෝරාගැනීමට සිදුවනවා. පසුගිය වසරේ උතුරු පළාත් කණ්ඩායමේ අයිකන් ප්ලේයර් නොහොත් කණ්ඩායමේ සංකේතවත් ක්‍රීඩකයා ලෙස කටයුතු කරනු ලැබුවේ මුත්තයියා මුරලිදරන්. එහෙත් මෙවර ඔහු ශ්‍රී ලංකාව අතහැර කැරිබියන් දූපත් ප්‍රිමිය ලීග් තරගාවලියට එක්වීම හේතුවෙන් ඒ සදහා වෙනත් ක්‍රීඩකයකු සෙයාගැනීමට සිදුවනවා.
 කෙසේ වෙතත් පසුගිය වසරේ ඌව පළාත් අයිකන් ප්ලේයර් නොහොත් කණ්ඩායමේ සංකේතවත් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කළ ක්‍රිස් ගේල් මෙරව තරගාවලියට එක්වන්නේ නැහැ. ඒ ඔහුගේ රටේ පැවැත්වෙන කැරිබියන් දූපත් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම හේතුවෙන්.
පසුගිය කාලයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින්ට පසුගිය කාලයේ රට වෙනුවෙන් ක්‍රීඩා නෙකොට මුදල් වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිලිබදව චෝදනා එල්ලවුණා. මේ අනුව මුත්තයියා මුරලිදරන්ටද එම චෝදනාවම එල්ලවනු ඇති. ඒ ක්‍රිස් ගේල් රට වෙනුවෙන් ක්‍රීඩා කරද්දී මුරලි මුදල්වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉදිරිපත්වීම හේතුවෙනුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ අනෙක් රටවල ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වෙනස.

2013-05-19

ක්‍රිකට් ඔට්ටු මට්ටු වෙයිද


(2013 මැයි මස 19 වැනිදා) ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදුන් ක්‍රීඩකයින් තිදෙනෙකු පිලිබදව මේ වන විට දිල්ලි පොලීසිය පරීක්ෂණ පවත්වනවා. ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන එස්.ශ්‍රීසාන්ත්, අන්කිට් චවාන් සහ අජිට් චන්දිලායි. ඔවුන් ඔට්ටුකරුවන්ගෙන් එක් පන්දුවාරයක් පාවාදීම  සදහා ඉන්දීය රුපියල් ලක්ෂ 40 ක සිට 60 ක් දක්වා මුදලක් ලබාගෙන තිබෙනවා. ඒ පිලිබදව ඔප්පු කිරීම සදහා දිල්ලි පොලීසිය සතුව හඩපට සහ වීඩියෝ දර්ශනද පැවතීම විශේෂත්වයක්. එමෙන්ම මේ වන විට ඔට්ටුකරුවන් සහ තැරැව්කරුවන් 11 දෙනෙකු අත්අඩංගුවේ පසුවනවා. ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු මත ඉදිරි පරීක්ෂණ සිදුකරන බවයි දිල්ලි පොලීසිය කියා සිටියේ. මේ අතර ශ්‍රීසාන්ත් මෙම තරගාවලියට පෙරත් මුදලට තරග පාවාදීමට සම්භන්ධව ඇතැයි මේ වන විට සැක මතුව ඇතැයිද එරට පොලීසිය අධිකරණය වෙත දැනුම්දී තිබෙනවා. මේ අනුව ඔහුගේ පෞද්ගලික ලැප්ටොප් පරිඝණකය සහ ජංගම දුරකථන පිලිබදව රස පරීක්ෂක වාර්තාවක් ඇතුලුව පරීක්ෂණ කටයුතු සිදුකිරීමටද අධිකරණය පොලීසිය වෙත අවසර ලබා දී ඇතැයි සදහන්.
මේ අතර ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මතුව ඇති තරග පාවාදීමේ ගැටළුව පිලිබදව සාකච්ජා කිරීමට අද රැස්වුණා. මෙම හමුවෙන් පසු ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති එන්.ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත්තේ බුකීකරුවන් සහ තැරැව්කරුවන් පාලනය කිරීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බවයි. එය මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුවක් බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. තමන්ට හැකියාව ඇත්තේ ක්‍රීඩකයින්ට චෝදනා ඔප්පුවන්නේ නම් දඩුවම් ලබාදීම පමණක් බවත් ඔහු පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම තරගාවලියට පෙර තහනම් උත්තේජන සහ තරග පාවාදීම් වැලැක්වීම පිලිබදව ක්‍රීඩකයින්ට උපදෙස් නිකුත්කිරීමට කටයුතු කරන ලද බවත් ඔහු පවසා තිබෙනවා. මේ අතර තරග පාවාදීමට සම්භන්ධ ක්‍රීඩකයින් තිදෙනාම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරන්නන් වීමත් විශේෂත්වයක්. මේ හේතුවෙන් ඔවුන් පිලිබදව එම කණ්ඩායමද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ශ්‍රීනිවාසන් මහතා පවසනවා.
ඉන්දීය ආන්ඩුව මේ පිලිබදව අවධානය යොමු කරමින් ඉදිරියේදී ක්‍රිකට් සහ අනෙකුත් තරග පාවාදෙන සහ ඔට්ටු තැබීම පිලිබදව නව නීති සකස්කිරීමට තීරණය කර තිබෙනවා. එරට නීති අමාත්‍ය කපිල් සිබාල් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඒ සදහා මේ වන විටත් එරට ක්‍රීඩා අමාත්‍ය ජිතේන්ද්‍ර සිං සමග සාකච්ජා කර ඇති බවයි. ඉතා ඉක්මනින් ඒ සදහා නීති කෙටුම්පත් කරන බවත් නීති අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites