2012-09-16

ටී 20 ලෝක කුසලානයේදීත් ක්‍රීඩිකාවන්ට කුඩම්මාගේ සැලකිලි


freehitlanka.com

(2012 සැප්තැම්බර් මස 16 වැනිදා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩිකාවන්ට කුඩම්මාගේ සැලකිලි දක්වන බව අප පාඨක ඔබට අමුතු කථාවක් නොවෙයි. එහෙත් මෙම පළ නොකියා පළා බෙදීම ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදීද සිදුවෙමින් තිබෙනවා. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද එක්ව සිටීම විශේෂත්වයක්. පන්දුවාර 20 යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම නියමිතව ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි. සාමාන්‍යයෙන් මෙවැනි තරගාවලියකට පෙර තරග පැවැත්වෙන ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කරනු ලබනවා. පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ක්‍රීඩක ලෝක කුසලානය පැවැත්වෙන පල්ලෙකැලේ , හම්බන්තොට සහ කොළඹ ප්‍රේමදාස ක්‍රීඩා පිටි අති විශාල මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණය කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා. එහෙත් තරගාවලියට තවත් දින 10 ක් ඉතිරිවී තිබියදීත් මෙතෙක් ගාල්ල ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණයට පියවර ගෙන නැහැ. තරගාවලියට රටවල් 08 ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි. පවතින තත්වය තුල ඔවුන් දැඩි අපහසුතාවයට පත්වනු ඇතැයි සදහන්.
ගාල්ල ක්‍රීඩා පිටියේ ගෘහස්ථ ක්‍රීඩාංගනයද පවතින්නේ අබලන් තත්වයකයි. මෙතෙක් එය ප්‍රතිසංස්කරණය කිරීමටද ක්‍රිකට් ආයතනය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රතිපාදන ලබා දී නැහැ. මේ හේතුවෙන් තරගාවලිය අතරතුර වර්ශාවෙන් බාධා එල්ල වුවහොත් පුහුණුවීම් සිදු කිරීමේ ස්ථානයක් නොමැති වී යනවා. මෙවැනි තරගාවලියකදී ක්‍රීඩා පිටිය ඉන් ලැබෙන මුදලින් අලුත්වැඩියා සිදු කරනු ලැබුවේනම් එය අනාගතය සදහා හොද ආයෝජනයක් වනවා. එහෙත් ක්‍රිකට් ආයතනය මෙතෙක් එවැන්නක් සිදු කරනු නොලැබුවේ මෙම තරගාවලිය නොවටිනා නිසා විය යුතුයි. එමෙන්ම තරගාවලියේ කාල සටහන ප්‍රදර්ශනය කිරීමටද මෙතෙක් ක්‍රිකට් ආයතනය කටයුතු කර නැහැ. එහෙත් ක්‍රීඩක තරගාවලියේ කාල සටහන විශාල බිල් බෝඩ් මගින් ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ප්‍රදර්ශනය කිරීමටයි ඔවුන් කටයුතු කර ඇත්තේ. 

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites