2012-09-27

මලල ක්‍රීඩාව දියුණු කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් දැකපු ඉතිහාසයේ පළමු වතාව මෙයයි - සුනිල් ජයවීර


freehitlanka.com
(2012 සැප්තැම්බර් මස27 වැනිදා) මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දශක 04 කට අධික කාලයක් අත්දැකීම් තියෙන ක්‍රීඩා පරිපාලකයෙකු, පුහුණු කරුවෙකු, ප්‍රවීණයෙකු හැටියට මලල ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීමට විධිමත් වැඩපිළිවෙලක් අනුව මලල ක්‍රීඩා සංගමය හා ක්‍රීඩා අමාත්‍යාංශය ගමන් කරන මුල්ම අවස්ථාව 2013 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති සුනිල් ජයවීර මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ 2013 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා දෙමව්පියන් දැනුවත් කිරීම සඳහා (අද) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ වැඩමුළුවේදීය.

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා ප්‍රවීන මලල ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා පරිපාලකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ සුනිල් ජයවීර මහතා මලල ක්‍රීඩාවේ දිගු කාලයක් සිටින පුද්ගලයෙකු ලෙස පසුගිය ඉතිහාසය පුරාම ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලවල් නියෝජනය කළ ආකාරය අපි දැක්කා. නමුත් ඒ තරඟාවලියක් අපි සංවිධානාත්මක සැලසුම්ගත විධිමත් වැඩපිළිවෙලක් තුළින් ජයග්‍රහණයක් ලබාගත්තේ නැහැ. නමුත් වර්තමාන ක්‍රීඩා ඇමතිතුමාගේ නායකත්වය යටතේ ඔපරේෂන් සාර්ග් වැඩසටහන ක්‍රීඩකයෙකු පදක්කම්ලාභියෙකු කිරිමට අවශ්‍ය පුහුණුව, දැනුම, තාක්ෂණය, මාර්ගෝපදේශනය මෙන්ම පසු විපරමද සිදුකරන ආකාරය දෙස බලන විට අද අපි සතුටුවෙනවා ක්‍රීඩා අමාත්‍යතුමාගේ තිබෙන දක්ෂතාවය හා කැපවීම පිළිබඳව. ඇත්ත වශයෙන්ම මුලදී මහින්දානන්ද ඇමතිතුමා ක්‍රීඩාව පිළිබඳව දැනුමක් තිබෙනවාද කියලා මම කල්පනා කළා. නමුත් අද මම අවබෝධ කරගෙන තියෙනවා එතුමා සමඟ වැඩ කිරීමේදී ඔහුට ක්‍රීඩාව පිළිබඳව තිබෙන දැක්ම, අධිෂ්ඨානය හා කැපවීම. ඉතිහාසයේ වසරක කාලයක් තුළ ජාතික සංචිත පවත්වල නැහැ. නමුත් අද මේ සිටින මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වර්තමානයේ ක්‍රීඩා සංචිතවල පුහුණුව,දැනුම, තාක්ෂණය, මාර්ගෝපදේශනය, ආහාර හා සෞඛ්‍ය සියල්ලම ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදීම අපේ මලල ක්‍රීඩා ඉලක්ක ජයගැනීමට පහසුවන බව අපට විශ්වාසයක් තිබෙනවා.1991 දී අපි පදක්කම් 12 ක් මලල ක්‍රීඩාවෙන් දිනාගෙන ඉන්දියාව පරාජය කළා.2013 දී අපේ ඉලක්කය විය යුත්තේ 1991 ට එහා ගිය විජයග්‍රහණයක් යැයි මෙහිදී පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම පැවරී ඇති ක්‍රීඩා ඉසව් 52 න් එක් ක්‍රීඩාවක් තමා මලල ක්‍රීඩාව.අපි ඔලිම්පික් පදක්කම් 02 ක්ම දිනා ගත්තේ මලල ක්‍රීඩාවෙන්. පැරා ඔලිම්පික් පදක්කම දිනා ගත්තේත්  මලල ක්‍රීඩාවෙන්. පදක්කම් සටහනේ මලල ක්‍රීඩාව 51% ක් දිනා දී තිබෙනවා. ආසියානු ක්‍රීඩා උළෙලේ දිනාගත් පදක්කම්වලින් 100% ක්ම මලල ක්‍රීඩාව නියෝජනය කරමින් ලබාගත් ඒවා. නමුත් පසුගිය කාලපරිච්ඡේදයේදී ආසියානු ශූරතාවලියේත් කිසිම පදක්කමක් දිනාගන්න අපිට බැරිවුණා. එදා 1991 දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් 12 ක් අරගෙන ඉන්දියාව පරාජය කළ පසු ශ්‍රී ලංකාව පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 4 වැනි ස්ථානයට පත්වූ නමුත්, අපේ ඉලක්කය විය යුත්තේ ඉන්දියාවට හොඳ තරඟයක් ලබාදී දෙවන ස්ථානයට පත්වීම. ඒ සඳහා මලල ක්‍රීඩාවට අනෙකුත් ක්‍රීඩාවන්ට වඩා වැඩිම මුදලක් හා අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා. වසරක කාලයක් ජාතික සංචිතය පුහුණුකරුවන්, ආහාර, බෙහෙත් සියල්ල ලබා දෙනවා. මේ සියල්ල ක්‍රීඩකයාගේ පරිසාදන මට්ටම, දක්ෂතා උපරිම කිරීමට වැදගත්.

සියලුම ජාතික සංචිතවලට නේවාසික පුහුණුවීම්වලදී උපරිම පහසුකම් ලබාදෙනවා. මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අනුග්‍රහකයෙකු සිටියේ නැහැ. නමුත් මහජන බැංකුවේ ලක්ෂ 230 ක් වසරකට දැන් ලබාදෙනවා. තව මාස 03 කින් මලල ක්‍රීඩා සංචිතයේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුට මහජන බැංකුවේ රැකියා ලබා දීමටද කටයුතු කරනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට සමගාමීව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයග්‍රහණයක් අත්පත් කර ගතහැකි ප්‍රධාන ක්‍රීඩාව වන්නේ මලල ක්‍රීඩාවයි. එහි දියුණුවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා. රටට ඔබෙන් අවශ්‍ය ජාත්‍යන්තර ජයග්‍රහණ බව මතක තියාගන්නැයි අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් දයා රත්නායක, පුහුණුකරුවන් වන සුනිල් ගුණවර්ධන, යෝගානන්ද විජේසුන්දර ඇතුළු පිරිසක් සහභාගී වූහ.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites