2012-09-17

පාසල්වලට වෙඩි තැබීම ක්‍රීඩා අමාත්‍යාංශය අරඹයි


freehitlanka.com 
(2012 සැප්තැම්බර් මස 17 වැනිදා) ජාත්‍යන්තර පදක්කම් දිනාගැනීමට වැඩි අවස්ථාවක් පවතින ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව පාසල් මට්ටමේ සිට දියුණු කිරීම සඳහා උපකරණ, පුහුණු පිටි හා වායු රයිෆල් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

පසුගිය කාලපරිච්ඡේදයේදී ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩාව දියුණු කිරීමට අවශ්‍ය මූලික වායු රයිෆල් ලබා ගැනීම, පුහුණුවීම් සඳහා නිශ්චිත වෙඩිපිටි නොමැති වීම යනාදී විවිධ දුෂ්කරතා හේතුවෙන් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාම සඳහා විවිධ බාධක පැවතියත් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විශේෂ ඉල්ලීමක් පරිදි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙඩි තැබීමේ ක්‍රීඩාවට අවශ්‍ය වායු රයිෆල් ඇතුළු උපකරණ ගෙන්වීම සඳහා මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම මත වෙඩි තැබීමේ ක්‍රීඩාවේ නිරතවන ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමටද ආරක්ෂක ලේකම්තුමන්ගේ අනුමැතිය ලබාදී ඇති අතර, ඉදිරියේදී පාසල් මට්ටමේ සිට මෙම ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වෙඩි තැබීමේ සංගමය හා ඒකාබද්ධ නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට ක්‍රීඩා අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි ජර්මනියේ කාර්ල් වෝල්ටර් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත චන්දන වන්නිආරච්චි මහතා විසින් ජර්මනියේ නිෂ්පාදිත ලෝකයේ ඉහළම ප්‍රමිතියකින් යුත් රු.මිලියන 1.1 ක් වටිනා රයිෆල් 03ක් ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දුන් අතර, අදාළ රයිෆල් 03 ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රයිෆල් සංගමයට භාරදුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම, ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ ලේකම් දුෂාන් විජේවික්‍රම, ජර්මනියේ කාර්ල් වෝල්ටර් හි ශ්‍රී ලංකා නියෝජිත චන්දන වන්නිආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites