2012-09-26

ක්‍රීඩා ඇමති ජාත්‍යන්තර පාසල්වලට කඩේ යයි


freehitlanka.com
(2012 සැප්තැම්බර් මස26 වැනිදා) (ක්‍රීඩා අමාත්‍යාංශය) ජාතික සංචිතවලට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී පාසල් මට්ටමේ තරඟාවලි ඉතා වැදගත්වන අතර, අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන මෙම පාසල් තරඟාවලි සඳහා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දක්ෂ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට පසුගිය කාලපරිච්ඡේදයේ සහභාගීවීමට අවස්ථාවක් ලබා නොදීමෙන් මෙරට ජාතික ක්‍රීඩාවන් පෝෂණය කිරීමට මහත් බාධාවක් වූ බැවින්, අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පවත්වනු ලබන සියලුම ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද අවසර ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියි.

ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් පවත්වනු ලබන ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමට අවස්ථාවක් ලබාදෙන ලෙස අදාළ පාසල් වලින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වනවිට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර ඇති බැවින්, ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සෑම ක්‍රීඩා ඉසව්වකින්ම තරඟ වැදීමට ජාත්‍යන්තර පාසල්වල දරු දැරියන්ටද අවස්ථාවක් ලබාදීම මෙරට ක්‍රීඩාවේ ප්‍රගමනයට මහත් දායකත්වයක් වන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

ජාත්‍යන්තර පාසල්වල දරු දැරියන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා ඉසව් නියෝජනය කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස සියලුම අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා කොට්ඨාශ භාර අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛ අංක 94/01 මඟින් හා 1999.04.15 දින දැනුම් දී ඇතත්, අදාළ චක්‍රලේඛයට අනුව පාසල් කටයුතු කිරීම මේ දක්වා සිදුනොවීමෙන්, ජාත්‍යන්තර පාසල්වල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ක්‍රීඩා සංචිතවලට තේරී පත්වීමට තිබෙන අවස්ථා අහිමි වී ඇති බැවින්, මේ පිළිබඳව යළි අවධානය යොමුකර අදාළ චක්‍රලේඛයට අනුව කටයුතු කිරීමට සියලු පාසල්වලට උපදෙස් ලබාදෙන්නැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites