2012-10-11

ලියාපදිංචි සහතික නොමැති පුහුණුකරුවන් ඉවතට


freehitlanka.com
(ක්‍රීඩා අමාත්‍යාංශය) (2012 ඔක්තෝබර් මස 11 වැනිදා) ක්‍රීඩාව විද්‍යානුකූලව හා නිවැරදි  න්‍යායාත්මක මූලධර්ම ඔස්සේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා ඉසව් 52 කට බලපාන පරිදි පුහුණුකරුවන් ලියාපදිංචි කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනට මේ වනවිට අයදුම්පත් 3500 ක් පමණ ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.

ලෝකයේ දියුණු රටවල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා ක්‍රීඩා විද්‍යාව පිළිබඳව විශේෂ පුහුණුවක්, පුළුල් දැනුමක් හා  අත්දැකීම් ඇති පුහුණුකරුවන් ඔවුන්ගේ දක්ෂතා හා සුදුසුකම් අනුව වර්ගීකරණයක් කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමේ කටයුතු වල යෙදෙති. ශ්‍රී ලංකාවේ දශක ගණනාවක සිට එවැනි ප්‍රමිතිගත පුහුණු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීමෙන් ග්‍රාමීය මට්ටමේ හා පාසල් මට්ටමේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට පිවිසීමේ දී බොහෝ පිරිසක් අතර මඟදී කඩා වැටෙන මට්ටමක් උදාවී ඇත්තේ විද්‍යාත්මක පුහුණුවක් හා නිවැරදි මාර්ගෝපදේශනයක් නොමැතිකමින් බව ක්‍රීඩා අමාත්‍යාංශය හඳුනාගෙන ඇති බැවින්, ඉදිරියේදී ග්‍රාමීය මට්ටමේ හා පාසල් මට්ටමේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආරක්ෂා කරගෙන ඔවුන්ට නිවැරදි පුහුණුවක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම ක්‍රීඩා ඉසව්වකම පුහුණුකරුවන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

පුහුණුකරුවන් ලියාපදිංචි කිරීම සඳහා ලැබී ඇති අයදුම්පත් අතරින් පුහුණු පාඨමාලා හැදෑරූ පිරිසක් මෙන්ම එවැනි පාඨමාලාවක් හෝ ක්‍රීඩා විද්‍යාව පිළිබඳව පාඨමාලාවක් හදාරා නොමැති අයදුම්කරුවන් සිටින අතර, මේ අය අතරින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින් බිහිකළ අයදුම්කරුවන්ද සිටින බැවින්, මේ දෙපිරිසම වෘත්තීය ක්‍රීඩා පුහුණුකරුවන් බවට පත් කිරීම සඳහා විදේශ පුහුණුකරුවන්ගේ උපදෙස් හා දැනුම ලබාදීමට කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

 අදාළ පුහුණු කිරීම්වලින් අනතුරුව ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණු වැඩසටහන යටතේ පවත්වන ලද විශේෂ පරීක්ෂණයක් උපයෝගී කරගෙන මෙම පුහුණුකරුවන් වර්ගීකරණය කිරීමටද කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. පුහුණුකරුන් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි නොවූ කිසිම පුහුණුකරුවෙකුට මින් ඉදිරියට  ග්‍රාමීය මට්ටමේ හෝ පාසල් මට්ටමේ  සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීමට ඉඩනොදෙන බවද ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites