2012-10-27

ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව


freehitlanka.com
(2012 ඔක්තෝබර් මස 27 වැනිදා) පළමු ආසියානු කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා. ඒ චීනය සමග පැවති තරගය කඩුළු 09 කින් ජය ගැනීමත් සමගයි.ශ්‍රී ලංකාව කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි චීන ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකිවූයේ කඩුළු 09 ක් දැවී ලකුණු 52 ක් පමණයි. ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා පමණක් ලකුණු 10 සීමාවෙන් ඔබ්බට ගිය අතර අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 05 කට වඩා රැස් කිරීමේ අවස්ථාව හිමිවූයේ නැහැ. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 05 ක් තුල ලකුණු 54 ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළා. චමරී අතපත්තු නොදැවී ලකුණු 35 යි. තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයද නේපාලය හමුවේ ලකු‍ණු 20 කින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා. මූලික වටයේ අවසන් තරගයට බංග්ලාදේශය සමගින් ශ්‍රී ලංකාව හෙට තරග වැදීමට නියමිතයි.
 මේ අතර තරගාවලි ඉතිහාසයේ අඩුම ලකුණු සංඛාව අද හොංකොං ක්‍රීඩිකාවන් වාර්තා කළා. ඒ පාකිස්ථානය හමුවේයි. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා. පිලිතුරු ලෙස හොංකොං ක්‍රීඩිකාවන් සියළුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 15 ක් පමණයි. ඉන් ලකුණු 09 ක්ම වයිඩ් පන්දුවලින් හිමිවීමත් විශේෂත්වයක්. මේ අනුව හොංකොං ක්‍රීඩිකාවන් පිත්තෙන් රැස් කර ඇත්තේ ලකුණු 06 ක් පමණයි. පකිස්ථානය ලබා ගත් ලකුණු 142 ක ජයග්‍රහණය තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් විශාලතම ජයග්‍රහණයද වනවා. තරගාවලිය පැවැත්වෙන්නේ චීනයේදීයි.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites