2012-10-06

අවසන් තරගයේ ප්‍රවේශ පත්‍ර සදහා ප්‍රේක්ෂකයින් වීදිවල රැය පහන් කරයි



 (2012 ඔක්තෝබර් මස 06වැනිදා සෙනසුරාදා) පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ඊයේ සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 74 කින් පරාජයට පත් කරමින්. මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළා. මේ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ ලකුණු 205 ක් ලබා ගැනීමට සමත්වුණේ කඩුළු 04 ක් පමණක් දැවී තිබියදීයි. ඊට ක්‍රිස් ගේල් පන්දු 41 කදී ලබා ගත් ලකුණු 75 ද ඇතුලත්. එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය තුල හයේ පහර 14 ක් සහ හතරේ පහර 13 ක් එල්ල කිරීමට කැපී පෙනෙනවා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව සියළුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 131 ක් පමණයි. හුදකලා සටනක නිරත වූ ඔස්ට්‍රේලියා නායක ජෝජ් බේලි ලකුණු 63 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී රවී රාම්පාල් කඩුළු 03 ක් දවා ගැනීමට සමත්වුණා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් තරගයේ වීරයා බවට පත්වුණා. තරගය පැවැත්වුනේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදීයි. මේ අනුව අවසන් තරගය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වීමට නියමිතයි.
 මේ අතර අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සදහා විශල පිරිසක් මේ වන විට කොළඹ තර්ස්ටන් ක්‍රීඩා පිටිය අසල සහ මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩා පිටිය අසල රැදී සිටිනවා. මෙම ස්ථානවල ලෝක කුසලාන ප්‍රවේශ පත්‍ර අලෙවි මධ්‍යස්ථාන පිහිටා තිබුණා. එහෙත් ක්‍රිකට් ලෝක කුසලාන කාර්යයාලය පවසන්නේ අවසන් තරගයේ ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වන විට විකිනී අවසන් බවයි. කෙසේ වෙතත් ප්‍රවේශ පත්‍ර අද උදෑසන සිට නිකුත් කරන බවට ප්‍රේක්ෂකයින්ට ලැබුණු තොරතුරු මත මෙම ස්ථානවලට අධික පිරිසක් රැස්වී සිටිනවා. මේ අතර සිටින බොහෝ පිරිසක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම ස්ථානවල සිටින පිරිස් වීම විශේෂත්වයක්. අප ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට පමණ මෙම ස්ථාන දෙකෙහිම නිරීක්ෂණ චාරිකාවල නිරතවුණා. එහිදී දැකගතහැකිවූයේ ස්ථාන දෙකෙහිම 1000 කට අධික පිරිසක් පේලි සැදී සිටින බවයි. මෙම ස්ථාන දෙක සදහාම පොලිස් කැරලි මර්ධන ඒකකද මධ්‍යම රාත්‍රියේ සිට යොදවා තිබෙනවා. ඒ නොසන්සුන්තාවක් ඇතිවුවහොත් පාලනය කිරීම සදහායි.

0 comments:

Post a Comment

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites